Adverts

Popular Posts

Tuesday, August 7, 2018

පෝයට පෑ හද

අවුරුදු නිවාඩුවේ උණුහුම ගිහින් ආයෙමත් ඉස්කොලේ පටන් ගත්තා විතරයි ඒපාර ආයම දවස් තුනක දිග සති අන්තයක් ආවා කියමුකෝ,  පෝය දවසත් එක්කම. මේ ලබන පෝය වෙසක් පෝය බව තාත්තා අම්මාට කිව් නමුත්
ඇය නම් එය තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැත. පංතිභාර ගුරුතුමී අත්වැඩට මෙදා පාර වෙසක් කූඩු හදන්න කියා දුන්නෙත් එකත් එකටම තාත්තා ඇයටත් ඒ බව කියන්න ඇති කියලා මට සිතේ.

තාත්තා කෙසේ කීවත් අපේ අම්මා නම් වෙසක් පෝය බක් මාසයේ පෑයීම ගැන තදින්ම විරෝධය පෑවාය. තාත්තා ගේ අම්මා වන අත්තම්මා අනික් කාරණා වලට කෙසේ වෙතත් මේ ප්‍රශ්නයේදී නම් එකපයින් නොව දෙපයින්ම හිටගනිමින් අපේ අම්මාට ෆුල් සපෝට් එක දුන්නීය. ඇගේ වචන වලින් නම් අම්මෝමුත්තා කාලෙවත් මෙහෙම සංගිදියාවක් අසා නැත.

"අනික් පෝය වගේද මේ උතුම් වෙසක් පෝය, කලියුගේ විගඩම්" කියමින් ඇගේ පැත්තට ඇති සියලු කරුණු කාරණා ගෙන හැර පාමින් වේගයෙන් පටන් ගත් කතාව, ටිකින් ටික ශබ්දය අඩු වෙමින් මැතිරිල්ලක් වගේ මුමුණමින් අත්තම්මා බීරලු කොට්ටය ලග වාඩි වුනේ අසන නරඹන අය එකා දෙන්නා එහාට මෙහාට වුන නිසාය.

මේ පෝය වෙසක් නම් ඉතිං මේ හදිසියේම  වෙසක් එකට කූඩු හදම්දෝ නැද්දෝ කියමින් මම ගෙයින් එලියට බැස්සේ බට පතුරු ටිකක් හොයා ගන්න වෙනදා වගේ නිමල් අය්යාට කතා කරන්නය. මෙන්න එතකොටම එයා උණ බට වගයක් අරන් අපේ ගේ පැත්තට එනවා. අඩුවක් නැතිව මට බට පතුරු දීලා උපදෙස් ටිකකුත් දෙමින් ඉන්න කොට එක පාර කිකිලියෙක් බිත්තර දානවා වගේ සද්දයක් ආවෙ නැතෑ. හැරිලා බැලින්නම් එහා ගෙදර මනෝරි අක්කයි එයාගෙ යාලුවයි කොහේදෝ යන්න පාරට ඇවිත්. ඒක හරිම හිනාවක්නෙ මටත් හිනා නිමල් අයියටත් හොදටම හිනා. එයාලට අපේ හිනාව ඇහෙන්න නෑ, නොනවත්වා හිනාව. එයාලා ලාෆ් ගෑස් ගහගන්න්වා ඇති පොඩ්ඩෝ, ඒකයි ඔය නවත්තන්න බැරි හිනාව.  මල කෝලම්, ඔය දෙක හිටියම ඇති ගමට ආය අමුතුවෙන් තොරණ් ඕනි නෑ කියා ඔහු කීවේය.  හිනා සද්දෙට කොහෙන්දෝ එතනට කඩා පාත් වුන අපේ අක්කා නම් කීවේ මනෝරි අක්කා නිමල් අයියාව ගණන් ගන්නේ නැති නිසා ඔය හිතේ අමාරුවට කියන කතා කියාය.

අම්මා හා අත්තම්මාගෙ බලවත් විරෝධය මැද වුවත් ලොකු කැටයම් නැතත් සාධාරණ අටපට්ටම් කූඩුවක් හා පැටවුන් හතරක් හවස් වීමට පෙර රැලි දමා හැඩ කර එල්ලා තැබීමට සමත් වුනෙමි.  සිල් පවාරණය කර ගෙදර ආ අත්තම්මාත් ගෙදර සියල්ලොමත් එය බොහෝ අගේ කිරීම මට මහත් අස්වැසිල්ලක් විය.

මට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය නම් ඊලග පෝය කුමක් වේද කියායි. ඒක මැයි මාසේ පොසොන් බව තාත්තා දැඩි ලෙස අවධාරණය කල නිසා වෙසක් පෝයට වුනු වැඩෙම මේකටත් වෙලා කියා මම හිත හදා ගත්තෙමි.  මැයි පෝයදා ලැබූ පොසොන් පෝයට ඊට කලින් හැදූ කූඩු ටිකට අමතරව මිහින්තලේට මිහිදු මහ රහතුන් වහන්සේ වඩින පින්තූරයක් තබා, සුනිල් අයියා ලයිට් වැලක් ඇද දුන්නේය. නමුත් සමහර ඈයෝ නම් එදා වෙසක් දන්සැල් දී වෙසක් තොරණ් සංවිධානය කර තිබුනි. 

කාලයත් එක්කම හෙට ආයම පෝයක්. රෑ කෑම කාලා කට්ටියම සුහද කතාවක. ඊලගට එලඹෙන්නේ මොන පෝයද? මේ වැඩේ දිගටම ඔහොම යයිද? හිතනකොටම තාත්තා "මේ... ඇහුනද? මේ මාසෙ පෝය ඇහැල පෝය.. ඒකෙ වෙනසක් නෑ" කියලා හිනා වෙවීම කිව්වනේ.  "ඒත් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් තියෙනවා කියලා තියෙනවා හෙට පෝයදා රෑට. ඒ කියන්නේ මොකක්ද තාත්තේ.. කිව්වම අක්කා එතනට ඇවිත් ලයිව් ඇට් එයිට් වගේ සම්පූර්ණ ප්‍රවෘත්ති ආවරණයක් ලබා දුන්නීය. පුන් පෝදා හද අදුරෙන් වැහෙන බව දැනගත්තම මට හිතුනේ ඒකත් මරු වැඩේ කියාය. ඒත් අත්තම්මා නම් කීවේ මේ කලියුගේ හැම පෝයටම මොකක් හෝ අකරතැබ්බයක් නොවැ කියායි.

හද පායන කොට පිස්සොන්ට පිස්සු හැදී කුලප්පු වන බව අසා තිබුනත් සද මෙතරම් කෝචෝක් කරන බව අසා නැති බව සුනිල්  අයියා කීවේය. කතාව ඇත්ත .. අපේ ටොමියාටද ඔය උඩ ඉදන් එබෙන හද පෙන්නන්න බැරි ඔය නිසා තමයි කියා මාත් හිත හදා ගත්තෙමි.

Related Posts Plugin for WordPress, Blogger...