Adverts

Popular Posts

Tuesday, August 7, 2018

පෝයට පෑ හද

අවුරුදු නිවාඩුවේ උණුහුම ගිහින් ආයෙමත් ඉස්කොලේ පටන් ගත්තා විතරයි ඒපාර ආයම දවස් තුනක දිග සති අන්තයක් ආවා කියමුකෝ,  පෝය දවසත් එක්කම. මේ ලබන පෝය වෙසක් පෝය බව තාත්තා අම්මාට කිව් නමුත්
ඇය නම් එය තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැත. පංතිභාර ගුරුතුමී අත්වැඩට මෙදා පාර වෙසක් කූඩු හදන්න කියා දුන්නෙත් එකත් එකටම තාත්තා ඇයටත් ඒ බව කියන්න ඇති කියලා මට සිතේ.

තාත්තා කෙසේ කීවත් අපේ අම්මා නම් වෙසක් පෝය බක් මාසයේ පෑයීම ගැන තදින්ම විරෝධය පෑවාය. තාත්තා ගේ අම්මා වන අත්තම්මා අනික් කාරණා වලට කෙසේ වෙතත් මේ ප්‍රශ්නයේදී නම් එකපයින් නොව දෙපයින්ම හිටගනිමින් අපේ අම්මාට ෆුල් සපෝට් එක දුන්නීය. ඇගේ වචන වලින් නම් අම්මෝමුත්තා කාලෙවත් මෙහෙම සංගිදියාවක් අසා නැත.

Thursday, August 2, 2018

සෙල්ලම් ගෙවල්

සීතල කදුරට සුන්දර දෙසැම්බර් පාසැල් නිවාඩුව සුරංගිට අදටත් සිහි ගන්වන්නේ ගතේ හිරිගඩු නංවන හීත හුලං පොදට වැනෙන දේවදාර ගස් පේලියයි. ගෙවත්තට ඇතුලු වන පාර පැත්තකින් එක පෙලට හිටගෙන අතු විහිදවමින් යනෙන අයට ආචාර කරන්නාක් මෙන් තාලයට අතු නමා වැනෙන විට හමන දේවදාර සුවද  මතකයන් සිහි වන හැම  මොහොතේම නාස් පුඩුවලට දැනෙන්නාක් වගේ.
අසල්වාසී මිතුරියන් හා එකතුවෙලා සෙල්ලම් කරන නිවාඩු කාලෙ හරි විනෝද ජනකයි. බොහෝ විට යහලු යෙහෙළියන් ඔවුන්ගේ නංගිලා මල්ලිලාත් සමග වත්ත උඩ දේවදාර ගස් පේලිය යටට වෙලා ඒවගෙ ගෙඩි කඩා ගෙන කරන සෙල්ලමක් තිබුනා. අත් පිටුපසට කරන්, දෑතේ ගෙඩි ගුලි කරගෙන නොපෙනෙන්න අත්දෙකට ඒවා මාරු කරනවා. පස්සෙ රෙඩී කිව්වම අත් ඉස්සරහට දානවා. අනිකෙක් තමා කැමති අතට තට්ටු කරලා ඒ අතේ ගෙඩි  කීයක් තියෙනවද කියලා අත දිග ඇර නොබලා  කියන්න ඕනි. හරියට කිව්වොත් ලකුණු දහයයි. නැත්තං ලකුණු වැටෙන්නෙ නෑ බිම කොටු ගහලා අදින පුවරුවේ. ඔය අතරෙ පිරිමි ලමයි පොඩි පොඩි රණ්ඩු වලටත් ඇවිත් දග කරනවා. ඒත් හරි සුන්දරයි ඒ පොඩි කලබගෑනිත්. 

Saturday, July 14, 2018

"කටුස්සා "

කටුස්සා වනාහී උරග ගනයට අයත් වන්නාවූ සතෙක් බව ගුරුතුමී සොබාදහම පාඩමට අද කියා දුන්නීය.  අපේ වත්තේ නිතරම දකින්න පුලුවන් කටුස්සා ගේ ලොකුම හතුරා පූස් රාළ වන බවත් කෑවෝතින් නම් පූසාට දිරවන්න බැරිව දිරලා යන බවත්  අත්තම්මා වරක් කීවා මතකය.   
අල්ලපු ගෙදර සොනාලි අක්කත් කටුස්සෙක්ව කෑවාද දන්නේ නැත. හයියෙන් හුලගක් ආවොත් සරුංගලයක් වගේ උඩ යන්නත් බැරි නැත.  ඒ තරම්ම කෙසගය. අපේ අක්කා නම් කීවේ ඇය අවුරුදු කුමාරි තරගයට යන්න නොකා නොබී දුක් විදිනවා කියාය. අපේ අක්කාට නම් එහෙම දුකක් නැත. සොනාලි අක්කගේ අයියා ඇයට නිතර චොකලට් දෙන නිසා ඇයට කෑමෙන් හිගයක් නැත
කටුස්සන්ට ගල් ගසන්නේ නරක ලමයින්ය, මැරුනම යන්නේ නිරයටය, කියා අත්තම්මා මට කියා තිබුනත් උන් "කොල්ලන් වලලං කෙල්ලන් ගොඩ ගං" කිය කියා ඔලුව වනන කතාව යාලුවෙකු ගෙන් දැන ගත් දින සිට කටුස්සන් කෙරේ මගේ තිබුනු අනුකම්පාව කොහේ ගියා දැයි නොදනිමි. 

අවුරුද්ද...!!!

අවුරුදු නිවාඩුවට ලැබුන ලොකුම තෑග්ග නම් ඉතිං, ඉර පායන කල් නිදා ගන්න ලැබීමම තමයි.  පාන්දර ජාමේ මගේ නම බොහෝ වාරයක් ඉතා උච්ච ස්‍වරයෙන් ශ්‍රවණය වීම, ටක්ස් ගා විදුලි පංකාව නිවෙන හඩ සහ ඒ එක්කම මගේ පොරෝනයෙන් නොපෙනෙන කෙනෙක් කඹ ඇදීම පාසැල් යන කාලයේ සුපුරුදුු දින චරියාවය. සැනෙකින් ඇස් අරින විට තේ කෝප්පය සමග අම්මා ගේ රුව දර්ශනය වීම ඊලග රූප රාමුවයි. දැන් ටික දවසකටවත් මේ කරච්ච්ලේ නවතීවි. 
එක අතකට රස්සාවකට නොයා පාසැල් යාම හොදය කියා සිතෙන්නේ තාත්තා හැමදාම වැඩට යන හැටි දකින කොට තමයි.   "ලමයි එක්කන් ගිහින් ඔය අවුරුද්දට ඕනි දේවල් අරං දෙන්න.. මට නිවාඩු ගන්න වෙන්නෙ නෑ" කියමින් තාත්තා අම්මා අතේ ඊයේ හවස මුදල් තබනවා මම දුටිමි. අම්මගේ අතේ එල්ලී ගෙන අක්කත් සමග  නගරයට යන එක ටිකක් කරදර වැඩක් වුනත්  වෙනදට තහනම් අයිස් පලම්, කඩචෝරු, බොම්බයි මොටයි, සීනි මුරුක්කු කන්න ලැබෙන නිසා මමත් ඉතිං අකමැත්තක් පෙන්නුවේම නැත.

බූරු තීරණ ගන්න හිටං....!!!

ඔන්න එක රටක රජ කෙනෙක් හිටියලු. එයා දවසක් දඩයමේ ගියාලු රාජ පුරුෂයන් පිරිවරාගෙන රාජ තේජසින්. ඔහොම යනකොට මගදි මිනිහෙක් දුටුවලු බූරුවෙක් දක්කා ගෙන පාරේ යමින් ඉන්න. ‍රජතුමාට හිතුනලු මම මේ රාජ මාලිගාවෙ ඇතුලෙම හිටියට මිනිස්සු සැබෑ ජීවිතේ කියන කරන දේ දකින්නේ බොහොමත් කලාතුරකින්, ඒ නිසා මේ මනුස්සයාට කතා කරලා බලන්න ඕනි කියලා. දැන් ඉතින් රාජපුරුෂයන්ට කියලා මොහුව නවත්තවා ගෙන රජු ලගට කැදව්වා. 
බොහොම ගෞරවයෙන් රජුට වැද නමස්‍කාර කර එකත්පස්ව සිට ගත් මිනිසා ගෙන් රජතුමා විමසනවා " ඔබ මේ බූරුවෙක් දක්කා ගෙන යන්නේ කොහිද "කියා.  මිනිසා කියනවා මම මේ ලග එන චන්ඩ මාරුතය හා මහා වර්ෂාවට කලින් නිවස්නය බලා ඉක්මන් කරනවා රජතුමනි" කියා. 
රජතුමා කොක් හඩලා සිනාසී සමච්චලේට පවසනවා "මගේ පුරෝහිත බමුණො අද දඩයමට යන්න ඉතා හොද දවසක් කීවා...අපි මේ දඩයමේ යනවා. අනේ මේ මෝඩ මිනිහා චන්ඩ මාරුතයක්, මහා වර්ෂාවක් කියා ආරක්ෂා වෙන්න යනවා, ඒ මදිවට බූරුවෙකුත් අරන් යන්නේ" කියා. රාජ පුරුෂයින්ද මහ හඩින් සිනාසී මේ මිනිසාව සමච්චලයට ලක් කරනවා. 

Related Posts Plugin for WordPress, Blogger...